Published On: Fri, Mar 10th, 2017

සමයං මැරුවේ මෙහෙමයි – පොලිස් කාරයොයි සේරම ඉවරකරලා දාපං…

Loading...
Share This
Tags

sa3333aරණාල සමයං ඝාතනයට පාතාල කල්ලි 3ක් බැහැලා…
පොලිසියේ කට්ටිය මාව උස්සගෙන, වඩාගෙන තමයි අරගෙන ආවේ..

ගිනි අවියක චේම්බරය යනු අවිය කොක් කළ විට මැගසිනයෙන් උණ්ඩය ගිලිහී ට්‍රිගරය තද කරන විට පත්තුවීමට සුදානම්ව උණ්ඩය සිරවන ස්ථානයයි.

“බර්ස්ට්” එක යනු ට්‍රිගරය තද කරගෙන සිටින විට මැගසිනයේ උණ්ඩ සියල්ලම පිටවන ආකාරයෙන් සැකසිය හැකි ආරක්ෂක අගුලේ එක් අංගයකි.

රණාලේ සමයං බර්ස්ටි එක හැඳින්වුයේ චේම්බරය ලෙසිනි. එනම් ටී – 56 ගිනි අවිය බර්ස්ට්එකට දමා උණ්ඩ සියල්ලම එකවර පිටකර සිය ඉලක්කය වන පුද්ගලයා මෙන්ම අවට සිටන අය ද මරා දැමීමේ කුරීරු චේතනාවෙන් වෙලුණ ඔහු සිය වෙඩික්කරුවන්ට අණ දුන්නේ චේම්බරයට දමා වෙඩි තබා සමූහ ඝාතනයක් සිදු කරන ලෙසටය.

එහෙත්…. කැලුම් එදා ඒ අණ පිළිපැද්දේ නැත. ඊට හේතුව වුයේ පොලිසිය ඉදිරිපිටට ගොස් වෙඩි තැබුවහොත් තමාට ද වෙඩි කා නහින්නට සිදුවන බව හොඳින් දැන සිටි නිසාය.

ඊට පසුව යළිත් වරක් සමයං ඇතුලේ සිට කැලුම්ට ඝාතන නියෝගයක් ලබා දුන්නේය.

ඒ…. අතුරුගිරිය, ශාන්තාලෝකගම මළ ගෙදරකට ගොස් සමූහ ඝාතනයක් කරන ලෙසයටය.

එනම්… එම මළ ගෙදරට එදින රාත්‍රියේ අතුරුගිරිය පාතාල කල්ලි නායක ‘ලඩියා’ ඇතුලු සගයන් පැමිණෙන බවත් එම කල්ලිය ඇතුලු මළ ගෙදර සිටින පිරිස් ද මරා දමන ලෙසටය.

එදා…. ඒ නියෝගයට කැලුම් සාර්ථක ප්‍රතිචාර දැක්විය. ඔහු… එදින රාත්‍රියේ යතුරුපැදියේ නැගී මළ ගම පැවැති නිවෙස අසලට ගියේ ටී – 56 ගිනි අවිය ජැකට්ටුවේ සඟවාගෙනය.

අවමංගල නිවෙස ඉදිරිපිට ඔහු යතුරුපැදිය නවත්වා බැස ජැකැට්ටුව ඇතුළෙන් ගිනි අවිය අතට ගන්නවාත් සමඟම අතුරුගිරිය පොලිසියේ කණ්ඩායමක් ඔහු අල්ලා මෙල්ලකොට අත් අඩංගුවට ගත්තේ වෙන්නට ගිය මහා මිනිස් ඝාතනයක් වලකාලමිනි.

එලෙස සමූහ ඝාතන සිදුකරන ලෙසට අණදුන් රණාලේ සමයංට අවසානයේ සිදුවූයේ සිය ළඟම හිතමිතුරු අපරාධකරුවන් සමූහය ද සමඟ එකට එක්ව අවසන් ගමන් යාමටය.

සමයං ඇතුලු අපරාධකරුවන් පස් දෙනා ඝාතනයට පැමිණියවුන් සමයංගේ හිසට බර්ස්ට් එකක්ම (ටී 56 උණ්ඩ 36ක්) තබා ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.

උස අඩි පහයි අඟල් දෙකක් පමණ වන පෞරුෂවන්ත පෙනුමක් පවා නොමැති සමයං මුලු බස්නාහිර පළාතට පමණක් නොව දකුණු පළාතේ කොටසකද සිය ආදිපත්‍යය පතුරුවා හැරියේ කෙලෙසද?

ඔහු තමාට එරෙහි පාතාල කල්ලිවල ප්‍රධාන සාමාජිකයන් එකකුවත් මරා දැමුවේ නැත. ඔහු අතින් හා ඔහුගේ අණින් ඝාතනය වූයේ ඔහුට එරෙහිව එහෙන් මෙහෙන් කොන් ඇල්ලූ පුද්ගලයන් පමණි. ඊට අමතරව ඔහු කොන්ත්‍රාත් ක්‍රමයටද කිහිප දෙනකු ඝාතනය කළේය. රට පුරා බොහෝ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්තේය. කුඩු ජාවාරම සරුවටම කරගෙන ගියේය. පෞරුෂවන්ත පෙනුමක් වත් නොමැති මොහු මෙපමණ දරුණු පුද්ගලයකු වූයේ කෙසේද?

එවකට පනාගොඩ මහා විද්‍යාලයේ විදුහල්පති වූ යූ.බී. පියසේන මහතාගේ බිරිය වූයේ පද්මිණි තිලකා රණසිංහය.

මේ දෙදෙනා පොළොන්නරුවේ උපන් පිරිමි දරුවකු දරුකමට හදාගන්නට ගත්තේය. ඔවුන් එලෙස හදාගත් දරුවා උපත ලැබුවේ 1988 වර්ෂයේ ඔක්තෝම්බර් මස විසිහත් වැනිදා පොළොන්නරුවේදීය. උඳුගොඩ පතිරඋන්නැහෙලාගේ අරුණ උදයන්ත පතිරණ ලෙස ඔහුට නම් තැබිණි.

අරුණ උදයන්ත මූලික අධ්‍යාපනය ලැබුවේ පියා විදුහල්පති ධුරය දැරු පනාගොඩ මහා විද්‍යාලයෙනි. එක වසරේ සිට තුන වසර දක්වා එය අධ්‍යාපනය ලැබූ ඔහු තුන වසරේ සිට පහ වසර දක්වා අධ්‍යාපනය ලැබුවේ බෝමිරිය කනිෂ්ඨ විද්‍යාලයෙනි.

ඉන් අනතුරුව බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් කෙරුණ උදයන්ත දෙදහස් හතර වර්ෂයේ සමාන්‍යපෙළ විභාගයට පෙනී සිට ඩී සාමාර්ථ තුනක් සී සාමාර්ථ තුනක් ලෙස විභාගය ඉහළින්ම සමත් විය.

එහෙත් ඔහුට උසස් පෙළ පන්තියට ඇතුළත් වීමට වරම් ලැබුණේ නැත. ඒ වෙනුවට ඔහුට යාමට සිදුවූයේ සිරගෙදරටය. ඒ නුවන් හෙට්ටිආරච්චි යන අයට පහරදීම හේතුවෙනි.

උසස් අධ්‍යාපනය එලෙස අඩාල වෙද්දී දෙදහස් පහ වර්ෂයේදී ඔහුට අපූරු පුද්ගලයකු හමුවිය. ඒ බටේපොළ නිශාන්ත යන නමින් කඩුවෙළ රණාල පැත්තේ ප්‍රසිද්ධව සිටි එවකට එම ප්‍රදේශය හොල්ලාගෙන සිටි පාතාල කල්ලි නායකයාය.

මේ පාතාල නායකයා උදයන්තට හඳුන්වා දෙන්නේ හොඳම මිතුරුකු වූ දුමින්ද විසිනි. බටේපොළ නිශාන්ත යනු දුමින්ද ගේ මාමාය.

“බටේපොළ නිශාන්ත හම්බවෙන්න මම නිතරම ගියා. ඒකට හේතුව මටත් එයා වගේ වෙන්න ඕනවුන නිසා. මොකද මම අරංහදාගත්ත දරුවෙක් නිසා කට්ටිය මට අවජාතකයා. අම්ම අප්ප නැති අරං හදාගත්ත එකා කියලා අපහාස කළා. එහෙම කියද්දී මට හරියම තරහ එනවා. මරාගෙන මැරුණ තරමට තරහ එනවා.”

“එය…..බටේපොළ නිශාන්ත මාව ළංකරගන්න කැමති වුනේ නෑ. මම එයාගේ පස්සෙන් යද්දී මේ මල සමයමක් නේ. ගෙදර පළයං සමයම කියලා මාව එලෙව්වා. ඒත්…මම අතහැරියේ නෑ. එයාගේ පස්සෙන්ම වැටුනා.ඒ විදියට තමයි මට සමයං කියන නම පටබැඳුණේ.”

එලෙස බටේපොළ නිශාන්ත පසුපස දිගින් දිගටම ගිය සමයං ට නේවි රුවන්, නේවි අසංක, වැලිවිට සුදා වැනි නම්වලින් හැඳින්වූ එවකට කොළඹ හා අවට පාතාල කෙරුමන් කිහිප දෙනකු හඳුනාගැනීමට අවස්ථාව උදාවිය.

“ඒ දවස්වල බටේපොළ නිශාන්ත ළඟ ටී පනස්හය තුනකුයි පිස්තෝල දෙකකුයි, ගල්කටස් දෙකකුයි තිබුණා. මගෙන් බේරෙන්න බැරි තැන බටේපොළ මාව එයාගෙ ගෝලයෙක් විදියට පිළිඅරගෙන බටේපොළ පොල්වත්තට එක්කගෙන ගිහින් මට වෙඩි තියන්න කියලා දුන්නා. එහෙම වෙඩි තියන්න පුරුදු උනාට පස්සේ බටේපොළගේ වැඩවලට මාව සම්බන්ධ කරගත්තා.”

එලෙස වෙඩි තැබීමට පුහුණුවක් ලද සමයං ප්‍රථම වරට පුද්ගලයකුට වෙඩි තබන්නේ දෙදහස් හත වර්ෂයේ මාර්තු මස දහවැනිදාය. අසංක නම් වූ මිතුරාද සමඟ ගොස් සමයං වෙඩි තබන්නේ වැලිපිල්ලෑවේ සංජිව යන අයටය.

එම වෙඩි තැබීමෙන් සංජිව මිය යන්නේ නැත. එහෙත් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කිරීමේ චෝදනාව එල්ල වන අතර දෙදහස් හත වර්ෂයේ මැද භාගයේදී මොහු නවගමුවේ පොලිසියට හසුවන්නේ ටී -56 අවියක් සහ අත්බෝම්බයක් සමඟය.

මෙම චෝදනා දෙකට මොහුට නඩු දෙකක් ගොනුවිය. සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ චෝදනාවට කඩුවෙල බී 1379 අංකය යටතේද අනවසර ගිනි අවි ළඟ තබාගැනීමේ චෝදනාවට කඩුවෙල බී/6792 අංකය යටතේ ද මොහුට නඩු පැවරීණි.

එම චෝදනා දෙකට අවුරුද්දකුත් මාස තුනක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සමයංට සිදුවිය.

ඒ…ගෙවීගිය කාලය සමයං ගේ ජීවිතයේ තවත් සාර්ථක පරිච්ඡේදයක් දිග හැරීමට ඉඩකඩ සලසා දුන් බව නිසැකය. ඊට හේතුව වන්නේ ඔහුට ඇතුලේ දී පාතාල නායකයන් කිහිප දෙනකුම ‘සෙට්’ වූ බැවිනි.

ඉන් එක් අයකු වන්නේ කරාටේ ධම්මික නම් වූ දරණු ගණයේ පාතාල කල්ලි නායකයාගේ ළඟම ගෝලයකු වූ ‘මෝල් අසංක’ යන අයයි. වැලිගම, කඹුරුගමුවේ පදිංචි කරුවකු වූ මෝල් අසංක සිරගතව සිටියේ මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ රැසක් සම්බන්ධ චෝදනා වලටය.

ඒ වන විට මෝල් අසංක මනුෂ්‍ය ඝාතන හතරක් පහක් පමණ සිදුකර තිබේ. ඔහු ඒ ඝාතන සිදුකර තිබුණේ කරාටේ ධම්මික ගේ අවශ්‍යතාව මතය. මෝල් අසංක හා සමයං දැඩි හිතවත් කමක් ගොඩනඟා ගන්නා අතර සමයං දෙදහස් අට වර්ෂයේ ඇප මත එලියට එන්නේ පෙම්වතියක ද හඳුනාගැනීමෙන් අනතුරුවය.

ඔහුට ඇය හමුවන්නේ බන්ධනාගාර ගතව සිටියදීය. එවකට සමයං සමඟ අජිත් නමැති අයකුද බන්ධනාගාරගතව සිටියේය.

බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවකු වූ අජිත් කල්දේරාගේ බාල සහෝදරියක වන සුනන්දි කල්දේරා බන්ධනාගාරයට එන්නේ අයියා බැලීම සඳහාය. එහිදී සමයං දැක හඳුනාගැනීමට ඇයට හැකිවන අතර ඇප මත එළියට ආ සමයං සමඟ ඇය දෙදහස් නවය වර්ෂයේදී විවාහ දිවියට ඇතුලත් වන්නේ සමයං යනු කවුරුන්දැයි හොඳ අවබෝධයක් ඇතිවය.

විවාහ දිවියට එලැඹුනද සමයං ට රැකියාවක් නැත. නඩුවලට වියදම් කිරීමට මුදල් ද නැත. එහෙත් සමයං ගේ මවුපියන් ඉඩකඩම් විකුනා සමයං වෙනුවෙන් මුදල් වියදම් කිරීමට පසුබට වූයේද නැත.

අඹතලේ පිහිටි ඉඩම් කිහිපයක් මෙන්ම බටේවෙල පිහිටි පදිංචි නිවෙස ද විකුණා දැමීමට සමයං ගේ මවුපියන්ට සිදුවිය. එහෙත්…බටේවෙළ නිවෙස මිලදී ගත් අයට නම් සිදුවූයේ මහා නස්පැත්තියකි. සමයං සිය මැර බලය පෙන්වා එම නිවෙස මිලදී ගත් අයට එහි පදිංචි වීමට ඉඩ ලබා දුන්නේ නැත.

විවාහ දිවියට ඇතුලත් ව වසරක් ගෙවී ගිය දෙදහස් දහය වර්ෂයේදී සුනන්දි පුතකු බිහිකළේ සමයංට පිය පදවිය උරුමකර දෙමිනි.

මෙලෙස…ප්‍රදේශයේ මැර බලය පතුරුවාගෙන සිටි සමයංට මුල්ම ඝාතන කොන්ත්‍රාත්තුවක් ලැබෙන්නේ හිරේදී හඳුනාගත් මෝල් අසංකගෙනි.

කෙසෙල්වත්තේ නීල්ගේ පුතා දිනුක යන අය මෝල් අසංක හරහා රුපියල් ලක්ෂ ගණනක මෙම කොන්ත්‍රාත්තුව ලබා දෙන්නේ කෙසෙල්වත්තේ පදිංචි කිත්සිරි රාජපක්ෂ යන අය ඝාතනය කිරීම සඳහාය.

නීල් යනු ව්‍යාපාරිකයෙකි. විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ඇපල්,දොඩම් මිදි, ආදි පළතුරු ගබඩා කිරීමට අවශ්‍ය ශීතකරණ පහසුකම් ඔහු සතුය. එම ව්‍යාපාරයෙක් ධනවතකු වී සිටින ඔහුට රුපියල් ලක්ෂ ගණනක් යනු එතරම් ලොකු දෙයක් වූයේ නැත.

සමයං මෙම කොන්ත්‍රාත්තුව බාර ගන්නා අතර හොඳම මිතුරකු වු චමින්ද ද සහාය කරගැනීමට කටයුතු කළේය.

“මෝල් අසංක දුන්න කොන්ත්‍රාත් එකට මම සෙට් උනේ චමින්ද එක්ක. එදා අපි ඔය මර්ඩර් එක ගහපු දවසේ (2011.01.15) බයික් එක පැද්දේ චමින්ද. වෙපන් එක අරගෙන ගියේ මම. අපි එදා දවල් කෙසෙල්වත්ත පැත්තෙදි ඌට වෙඩි තියලා මැරුවා. අස්සේ මාව මිරිහානෙන් ඇල්ලුවා.”

කිත්සිරි රාජපක්ෂ වෙඩි තබා ඝාතනය කරන සමයං අනුරාධපුරයට පැන ගොස් සැඟවිණි. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට මෙම ඝාතන පරීක්ෂණ පැවරු අතර ඔවුන් සමයං අත්අඩංගුවට ගන්නේ අනුරාධපුරයේදීය.

“ඒ දවල්වල හොඳටම වැහැලා. ගංවතුර ගලලා, පොලිසිය මාව අල්ලගෙන ගංවතුර මැදින් තමයි අරගෙන ආවේ. මම එච්චර උස නැති නිසා මගේ ඔලුවටත් උඩින් වතුර ගලනවා .පොලිසියේ කට්ටිය මාව උස්සගෙන, වඩාගෙන තමයි අරගෙන ආවේ”

මෙම අපරාධ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතවන සමයංට ඇතුලේදී තවත් තරුණියක මුණගැසිනි. මාතර, අපරැක්ක ප්‍රදේශයේ පදිංචි කාරියක වූ විදානගමගේ ප්‍රමිලා නුවන්දි නම් වන ඇය එවකට සිටියේ හෝමාගම ප්‍රදේශයේය.

ඇයට හෝමාගම හොඳ මිතුරියක සිටියාය. ඇය සම්පත් යන අයගේ බිරියයි.

සම්පත් සිටියේ සිරගෙදරය. බිරිය ඔහු බැලීම සඳහා යන සමහර අවස්ථාවලදී ප්‍රමිලා ද ඇය සමඟ සිරගෙදරට ගියාය. ඇයට සමයං සිරගෙදරදී දැන හඳුනාගන්නට ලැබිණි. දෙදෙනා අතර ප්‍රේමයක් දළුලා වැඩෙන්නට පටන්ගත් අතර ඔහුට විවාහක බිරිය සුනන්දි ටිකෙන් ටික අමතක වන්නට ඇත.

කිත්සිරි රාජපක්ෂ ඝාතනයට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සමයේදී සමයං ට තවත් හොඳ මිතුරකු හඳුනාගැනීමේ අවස්ථාව උදාවිය. ඔහු දීප්ති කුමාර නොහොත් බටේපොළ චරාය.

සමයං ගැටවර වයසේ පසුවෙද්දී රණාල ප්‍රදේශයේ බලය පතුරුවාගෙන සිටියේ බටේපොළ නිශාන්තය. ඔහු පසුව අතුරුදන් වන අතර ඊළඟට ප්‍රදේශයේ චන්ඩියා වන්නේ බටේපොළ චරාය.

බටේපොළ චරා, සමයං සමඟ මිතුරු වුවද ඔහු සමයංට හිත යටින් ඉරිසියා කළේය. ඒ රනාල ප්‍රදේශයේ බලය ටිකෙන් ටික සමයං අතට පත්වන බවක් වැටහුණ නිසාය. දෙදෙනාට දෙදෙනා හිත හොඳ බව පෙන්වාගෙන හිත යටින් වෛර බඳිද්දී ඇප මත එළියට එන ‘චරා’ සමයං ගේ හිතවත් කොල්ලකු කපා කොටා මරා දමන්නේ සමයංට සිය චණ්ඩිකම පෙන්වීම සඳහාය.

එලෙස මරා දමන්නේ සමයං බැලීම සඳහා සිරගෙදරට පැමිණි තරුණයෙකි.

ඉන් අනතුරුව ඇප මත එළියට එන සමයං සිරගෙදරදී හඳුනාගත් නුවන්දි සමඟ විවාහ දිවියට එළඹෙන්නේ පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන් වීමකින් තොරවය.

දරුවකුද සමඟ විවාහක බිරිය අතහැර තවත් විවාහයකට එළැඹීමට තරම් ප්‍රේමනීය භාවයක් හදවතේ තිබුනද ඒරියා එකේ චන්ඩියා වී තමන්ට එරෙහි පුද්ගලයන් මරා දැමීමේත් චේතනාව නම් වෙනස් වුණේ නැත.

ඒ වන විට රණාල ප්‍රදේශය මැරයන් දෙදෙනකුගේ ආදිපත්‍යයට යටත්ව තිබිණි. එකකු බටේපොළ චරාය. අනෙකා රණාලේ සමයං ය.

චරා මරා දමා ප්‍රදේශයේ ආදිපත්‍යය සියතට ගැනීමට සිතු සමයං ඒ සඳහා රුපියල් ලක්ෂ විසිපහක් වියදම් කිරීමට සුදානමින් සිටියේය. චරා ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදෙන්නේ මාතර පාතාල කල්ලි නායකයකු වන මදුෂ් ගේ ළඟම ගෝලයකු වූ හර්ෂ යසස්ටය.

එවකට මදුෂ් සමයං ගේ ළඟම හිතවතකු වූ අතර අවි ආයුධ හුවමාරු කර ගනිමින් එකකුගේ බලය හීනවන ප්‍රදේශවල බලය පතුරුවාලීමට උදව් කරමින් අපරාධ කරමින් නිදහසේ කල් ගෙවුහ.

චරා ඝාතන කොන්ත්‍රාත්තුව භාරගත් හර්ෂ ඒ සඳහා නඳුන් චින්තක යොදා ගැනීමට කටයුතු කළේය. ගාල්ල, මිදිගම ප්‍රදේශයේ පදිංචි කරුවකු වූ නඳුන් ඉලක්කයට වෙඩි තැබීමට දක්ෂයකු විය. උප කොන්ත්‍රාත්තුව භාර ගත් නඳුන් චින්තක චරා ඝාතනය කිරීම සඳහා මිතුරකු ගේ සහාය ද ලබාගැනීමට කටයුතු කළේය. ඔහු මුල්ලේරියාවේ පදිංචි කරුවකු වු විරාජ් සංජය තෝමස් නොහොත් සංජුය.

දෙදහස් දාහතර වර්ෂයේ අවසන් භාගයේ දිනෙක චරා ඝාතනය සඳහා නඳුන් චින්තක සහ සංජු සුදානම් වන අතර යතුරුපැදිය පැදයාම පැවරෙන්නේ සංජුටය. එදින බටේවෙළ ප්‍රදේශයේ බණ ගෙදරකට ගිය චරාට නඳුන් චින්තක වෙඩි තබන්නේ ඔහු බණ ගෙදරින් පිටව මහපාරට පැමිණි අවස්ථාවේ දීය.

රුපියල් ලක්ෂ විසිපහක කොන්ත්‍රාත්තුව ගෙන චරා මරා දැමුවද පොරොන්දු වූ මුදල ලබා නොදීම හේතුවෙන් සමයං සහ හර්ෂ අතර පැවැති හොඳ හිත ටිකෙන් ටික පලිදු වීමට පටන් ගත්තේය.

පාතාල කල්ලි සාමාජිකයන් අතර පවතින ක්‍රමවේදයක් ඇත. ඒ… සිය කල්ලියේ එකකුª යම් අයකු සමඟ අමනාප වුයේ නම් කල්ලියේ සියල්ලෝම එම පුද්ගලයා සමඟ අමනාප වීමයි.
හර්ෂ, සමයං සමඟ අමනාප වෙද්දී හර්ෂගේ හිතවතා මෙන්ම නායකයා ද වු මාතර මදුෂ් ද සමයං සමඟ අමනාප විය.

චරා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා මෙහෙයුම් දියත් වෙද්දී හර්ෂ යසස් රක්ෂිත බන්ධනාගාර ගත වන්නේ මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට කොටුවීම හේතුවෙනි.

ඒ වන විට රණාලේ සමයං ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර ගහට ගහක් මොරටුවේදී හමුවනවා සේ සමයං හා හර්ෂ එකිනෙකාට හමුවන්නේ කොළඹ රිඹමාන්ඩ් බන්ධනාගාරයේදීය.

සමයං සමඟ පවතින වෛරය පිටකර ගැනීමට උත්සාහ කරන හර්ෂ එහිදී සමයං දණගස්වා වැටෙන තුරු පහර දෙන්නේ මුදල් නොදීමේ පලිය ගැනීමේ වෙනත් ක්‍රමයක් නොවු බැවිනි.

බන්ධනාගාර රැඳිවියන් ද නියාමකයන් ද මැදිහත්ව ගෝරිය බේරා දැමු නමුත් දෙදෙනාම එකිනෙකාට කියා ගත්තේ “මම තොට වැඩිකල් ජීවත් වෙන්න දෙන්නේ නෑ.” ලෙසටය.

මාතර මදුෂ් ඇතුලු අපරාධ කල්ලිය සමයං සමඟ වෛර බැඳගන්නා අතර ඒ වන විට අංගොඩ, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, කැලණිමුල්ල, කොළොන්නාව වැනි ප්‍රදේශවල මැර බලය පතුරුවාගත් අයකු සිටියේය.

‘අංගොඩ ලොක්කා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන ඔහු එම ප්‍රදේශවල ඉඩම් ගොඩ කිරීමේ ඒකාධිකාරිය ගොඩනඟාගෙන සිටියේය.

සමයං ගේ මවු පියන්ට අයත් වගුරු ඉඩම් කිහිපයක් අඹතලේ ප්‍රදේශයේ තිබු අතර ඒවා ගොඩකර විකුණා දැමීමට සමයං ට අවශ්‍ය විය. සමයං සිය ගෝල බාලයන් ලවා ඉඩම් ගොඩ කරවීමට යාමේදී අංගොඩ ලොක්කා සමයං ගෙන් ද කප්පම් ඉල්ලා සිටියේ එම ඉඩම් වල ඒකාධිපත්‍ය තමා සතු බව කියමිනි.

ඉඩම් ගොඩකර විකිනීමේ බලය වෙනුවෙන් ඒ වන විට අංගොඩ ලොක්කා මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකර තිබිණි. ඉන් වඩාත් කතා බහට ලක්වුයේ පස් රනිල් නැමැති අය වෙඩි තබා මරා දැමීමයි.

ඉඩම් ගොඩකිරීමේ බලය තමා සතුව පවතින බව පෙන්වීමට යාම හේතුවෙන් අංගොඩ ලොක්කා සහ සමයං අතර ද වෛරයක් හටගත්තේය.

ඒ අනුව අංගොඩ ලොක්කාගේ කල්ලිය ද සමයංට විරුද්ධව නැඟී සිටීම ආරම්භ කළේය. ඒ වන විට ද සමයං ඇතුලේ සිටි අතර අංගොඩ ලොක්කා සමයං මරා දැමීමට තීරණය කළේය. ඒ අනුව දෙදහස් පහළොව වර්ෂයේදී කඩුවෙල අධිකරණ භූමියේ දී සමයං ට වෙඩි තබන අතර ඉන් සමයං ට සිදුවුයේ සුලු තුවාල පමණි.

එම වෙඩි තැබීමේ සිද්ධිය වූ අවස්ථාවේ සමයං සමඟ අධිකරණයට රැගෙන විත් සිටි ඔහුගේ සගයන් වන ඌරු ජුවා සහ චමින්ද පැනයන අතර ඒ වන විට ද චමින්ද සමයං ගේ හොඳම මිතුරාව සිටියේය.

සමයං ට අධිකරණ භූමියේදී වෙඩි තැබුවේ තමා යැයි කියමින් එස්.එෆ්. චමින්ද යන අය පොලිස් විශේෂ කාර්යය බලකායට භාර වන අතර ඒ සඳහා ආධාර උපකාර ලබා දුන්නේ මිතිල සහ චාමර යන දෙදෙනා බව ද අනාවරණය විය.

මේ අතර මිතිල විවාහ දිවියට එළැඹිණි. ඔහු විවාහ වුයේ සමයං ගේ හොඳම මිතුරා වන චමින්දගේ අක්කාගේ දියණිය සමඟය.

සමයං ගේ තරහකාරයකු සමඟ සිය ඥාති දියණිය විවාහ වීම පිළිබඳ දැඩි විරෝධය පළ කරන චමින්දගේ අභිප්‍රාය වන්නේ මිතිල මෙන්ම චාමර ද මරා දැමීමයි. ඒ වන විට චාමර ඇප මත එළියට පැමිණ සිටි අතර රණාලේ හෝටලයකදී චාමර කපා කොටා මරා දමන්නේ චමින්ද.

ඌරු ජුවා ඇතුලු සමයං ගේ කල්ලියේ සාමාජිකයන් පිරිසක් විසිනි.

ඉන් අනතුරුව එළැඹෙන්නේ මිතිලගේ වාරයයි. දෙදහස් දහසය වර්ෂයේ මිතිල කපාකොටා ඝාතනය කරන්නේ දෙල්ගොඩ ප්‍රදේශයේදීය. ඝාතනයන්ට අවශ්‍ය ස්ථානයට ඔහු ගෙන්වා ගන්නේ ඔහුගේ බිරියගේ සහයෙන් බව පසුව අනාවරණය විය.

කඩුවෙළ අධිකරණ භූමියේදී පැනගොස් මෙම ඝාතන වලට සහාය වූ ඌරු ජුවා පසුව බන්ධනාගාරයට භාර වන අතර චමින්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ ටී – 56 ගිනි අවියක් ද සමඟය.

ඒ අතර හර්ෂ යසස් වෙඩි තබා ඝාතනය කරන්නේ 2016 වර්ෂයේදීය. ඒ… ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණමෙන් අනතුරුවය.

රාජගිරිය ඔබේසේකරපුර පිහිටි අනියම් බිරියගේ නිවෙසේදී මෙම වෙඩි තැබීම සිදුකෙරෙන අතර පසුව ඝාතනයන් අත්අඩංගුවට ගනු ලබන්නේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසිනි.

ඒ වන විට අතුරුගිරිය ප්‍රදේශයේ ද අපරාධ කල්ලියක් බිහිව තිබිණි. ‘ලඩියා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා එම කල්ලියේ නායකයා වූ අතර බාල්දි ප්‍රියන්ත ට්‍රනිල් බණ්ඩාර නොහොත් බණ්ඩා ඇතුලු මැරයන් රැසක්ම එම කල්ලියට සම්බන්ධ වී සිටියහ.

‘ලඩියා’ කල්ලිය අංගොඩ ලොක්කා සමඟ සමීප ඇසුරක් පැවැත්වීම හේතුවෙන් සමයං ලඩියා කල්ලිය සමඟ ද වෛර බැඳ ගත්තේය.

සමයං ඇතුලේ සිටිය දී අති නවීන තාක්ෂණයෙන් යුතු ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් එලියේ අපරාධ මෙහෙය වූ අතර ඔහුගේ අභිප්‍රාය වුයේ තමාට එරෙහි අංගොඩ ලොක්කා, අතුරුගිරියේ ලඩියා සහ මාතර මදුෂ් නායකත්වය දරණ කල්ලිවලින් පලි ගැනීමය.

පසුගිය වර්ෂයේ අවසාන භාගයේ සමයං ට ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවක් ලැබී තිබිණි. ඒ… මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් තරුණයකු වූ මොහොමඩ් රූෆි ඝාතනය කිරීම සඳහාය.

රුපියල් ලක්ෂ හතලික් වු එම කොන්ත්‍රාත්තුව සමයං ට ලැබෙන්නේ කටාර් රාජ්‍යයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයකුගෙනි. ජල්තර ප්‍රදේශයේ පදිංචි සමයං ගේ ගෝලයකු වන යුද හමුදාවෙන් පැනගිය වජිර කුමාර යන අය ඒ සඳහා යොදවා ගනී. වජිර කුමාර එල්ල කළ වෙඩි පහර වලින් මොහොමඩ් රූෆි එම ස්ථානයේදීම මිය යන නමුත් දින කිහිපයක් ගතවෙද්දී මෙම අපරාධයේ සුලමුල සොයා ගැනීමටත්, වෙඩික්කරු ඇතුලු සහාය දුන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකිවිය.
මේ කාලය එළැඹෙන විට සමයං කලුතර බන්ධනාගාරයට මාරුකර යවා තිබිණි. ඒ … ආයුධ සමඟ පොලිසියට කොටු වූ අංගොඩ ලොක්කා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුවය.
එවකට සමයං සිටියේ මහර බන්ධනාගාරයේය. අංගොඩ ලොක්කා යොමු කෙරුනේ ද එම බන්ධනාගාරයටය. සමයං සහ අංගොඩ ලොක්කා මහර බන්ධනාගාරය ඇතුළේ දී ගහමරා ගත් අතර ගල් මුල් වලින් පවා ගහගන්නා තරමට ආරවුල දුර දිග ගියේය.
මේ දෙදෙනා එක තැන තබා ගැනීම ඉතාම අසීරු කරුණක් බැවින් සමයං කලුතර බන්ධනාගාරයට යොමු කෙරෙන්නේ පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේදී ය.
කලුතර බන්ධනාගාරයට යන සමයං සිය සුපුරුදු ක්‍රියා පටිපාටිය එහිදී ද ක්‍රියාත්මක කර පසුව අංගගොඩ ලොක්කා ඇප මත එළියට යන අතර ඔහුගේ ඉලක්කය වන්නේ අංගොඩ ලොක්කාගේ කල්ලිය විනාශ කර දැමිමයි.

එහි පළමු පියවර ලෙස මුල්ලේරියාව පොලිස් වසමේදී ජනවාරි මස පස්වැනිදා අංගොඩ රත්තරං වෙඩි තබා ඝාතනය කරන අතර සැකකරු අල්ලා ගැනීමට පොලිසියට හැකිවුයේ නැත.

ඊළඟ ඉලක්කය වුයේ ලඩියාගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයකු වූ ට්‍රනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා ඝාතනය කිරිමය.

ජනවාරි මස දාහත් වැනිදා සවස බණ්ඩා ඝාතනය කරන්නේ අතුරුගිරිය නගර මධ්‍යයේ පිහිිටි ‘සයොනාරා’ නම් වු රූපලාවන්‍ය ආයතනය ඇතුළේ මුහුණට ෆේෂල් එකක් දමාගෙන සිටින අතරතුරේ ය.

රණාලේ සමයං ඇතුළේ සිට මෙම “ගේම්’ ගහන තුරු නිහඬව බලාසිටි එළියේ සිටින අංගොඩ ලොක්කා, ලඩියා එක්ව මාතර මදුෂ්ගේ ද සහාය ලබාගෙන ‘සුපිරි ගේමක්’ සෙට් කරන්නේ සමයංගේ බුද්ධි අංශයට ද නොදැනෙන පරිදිය.

මේ තුංකට්ටුව එක්ව ප්ලෑන් කරපු ගේම අති සාර්ථක විය. රණාලේ සමයං, ඔහුගේ ළඟම ගෝලයන් වන කැලුම්, ඇල්විස් වත්තේ පැටි මහත්තයා, චන්තක සහ සුරංග යන පස්දෙනාම බන්ධනාගාර බස් රථය තුළදී ජීවිතක්ෂයට පත්වුයේ එක පිට එක එල්ල වූ ටී – 56 වෙඩි වරුසාවකිනි. මේ අතරින් සමයං, පැටි මහත්තයා සහ කැලුම් යන තිදෙනා අතුරුගිරියේ බණ්ඩා ඝාතන සැලසුම් ප්‍රධාන චරිත තුන විය.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------