Published On: Sat, Jan 27th, 2018

කොටින්ට මෙල්ල නොවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යානා මෙහෙයුම..

Loading...
Share This
Tags

LTTE ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් කල මෙහෙයුම් සියල්ලේදීම ගුවන් හමුදාව විසින් කළ මෙහෙය අති විශිෂ්ඨයි.

LTTE ත්‍රස්ත සංවිධානය අඩපණ කිරීම සඳහාත් පාබල හමුදාවට ඉදිරියට යාම සදහාත් හදුනාගත් ඉලක්ක වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ගුවන් හමුදාවේ ප්‍රධානතම රාජකාරීන් අතරින් එකක්.

ඒ සඳහා අධිවේගී ප්‍රහාරක ගුවන්යානා මෙන්ම ප්‍රහාරක හෙලිකොප්ටර් යානාද ගුවන් හමුදාව විසින් යොදාගනු ලැබුවා.

ඩෙල්ටා හැඩති පියාපත් සහිත අහස දෙදරවමින් ගමන් කරන ”අහස් තලයේ සිංහ පෝතකයා” හෙවත් කෆීර් යානාව අප සියළු දෙනාටම හොදින් හුරු පුරුදුයි.

ඊශ්‍රායල් ගුවන් සමාගමක් විසින් (Israel Aircraft Industries) නිෂ්පාදනය කර ඇති කෆීර් යානය ඇතුලත ඇමරිකානු තාක්ෂණය යොදාගෙන තිබේ. ඊශ්‍රායලය එක්සත් ජනපදයේ බලපත්‍රයකට යටත්ව එම ඇමරිකානු තාක්ෂණයන් යොදා ගනී.

ඊශ්‍රායලය කෆීර් යානා විදේශිකයන්ට විකිණීමේදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ලබා තිබිය යුතුය. එම නිසා මෙම යානා විදේශිකයන්ට විකිණීම තරමක් සීමා වී තිබේ.සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.5 ක සිට අදි තාක්ෂණික උපකරණ සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 7 දක්වා ගණන්වලට කෆීර් යානා මිලදී ගැනීමට තිබේ

1996 දී මේ ප්‍රහාරක යානා ශ්‍රී ලංකාවට අලෙවි කිරීම ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊශ්‍රායලයට දොස්‌ නඟනු ලැබීය. ඊට හේතු වූයේ මේ යානාවල තිබූ එන්ජිම ඇමරිකාවේ ජෙනරල් ඉලෙක්ට්‍රික්‌ ආයතනය නිපදවූ එන්ජිමය. එහෙත් ඊශ්‍රායල් රජය ඒ කෙරෙහි තැකීමක්‌ කළේ නැත.

1973 වසරේදී නිර්මාණය කල, හීබෘ බසින් “සිංහ පෝතකයා” යන අරුත ගෙනෙන කෆීර් යානය මුලින්ම ප්‍රහාර සඳහා යොදා ගනු ලබන්නේ ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් 1976 වසරේදීයි.

කෆීර් යානය සියළුම කාලගුණ තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කර ඇති අතර ප්‍රංශයේ ඩැසල්ට් මිරාජ් 5 (Dassault Mirage 5) ගුවන් යානයේ ආකෘතියට මදක් සමාන වෙනවා. ඊශ්‍රායලයේ නිෂ්පාදනය කරන General Electric J79 වර්ගයේ ප්‍රබල එන්ජිමක් මේ සදහා යොදාගෙන තිබෙනවා. එහි ප්‍ර‍ධානම අවි වන්නේ 30mm Rafael DEFA 5533 වර්ගයේ කාලතුවක්කු දෙක සහ මිසයිල ගණනයි.

1996 වසරේදී පැවති දරුණු යුධ ගැටුම් හේතුවෙන් කෆීර් යානා ඊශ්‍රායලයෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කරනවා. කෆීර් යානා 7ක් එම වසරේදී මිලදී ගන්නා අතර නැවතත් 2001 වර්ෂ වලදී කෆීර් C2 යානා 4 ක් කෆීර් C7 යානා 4 ක් හා කෆීර් TC2 යානා 1 ක් ගුවන් හමුදාව විසින් මිලදී ගනු ලබනවා.

2006 වසරේ පටන්ගත් සිව්වන ඊළාම් යුද්ධයේදී නැගෙනහිර මෙන්ම උතුරේ ත්‍රස්ත ඉලක්ක සුනුවිසුනු කරමින් ත්‍රස්තයන්ට මරබිය ඇතිකළ ප්‍රහාරක යානයක් ලෙස මෙය නම් කරන්නට පුළුවන්. එමෙන්ම කොටි නායක ප්‍රභාකරන් බරපතල ප්‍රශ්නයකට මුහුණපෑවේ මේ කෆීර් යානා නිසාය.

“කෆීර් නිසා අපි බරපතල ප්‍රශ්නයකට මුහුණපා ඇත්තෙමු” යෑයි ප්‍රභාකරන් විසින් කැනඩාවේ ලෝක ද්‍රවිඩ සංවිධානයට යවා තිබූ ලිපියක්‌ද කැනඩා රහස්‌ පොලිසිය විසින් සොයාගෙන තිබිණි. එමෙන්ම පොලව යට බංකර් තුල සැගව සිටි කොටි නායකයින් බර ගණනක් මරු තුරුලට යැවුවේ කෆීර් විසින් එල්ල කල දැවැන්ත බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාර වලිනි..

කිලෝග්‍රෑම් 11603 ක්‌ බරක්‌ ගෙන යා හැකි කෆීර් ප්‍රහාරක යානාවකට පැයකට කිලෝ මීටර් 2440 ක වේගයෙන් යා හැකිය. එසේම කිලෝ 5775 බරැති බෝම්බද ගෙනයාමේ පහසුකම් ඇත.

යුද්ධය අතරතුර කිසිදු කෆීර් යානාවකට ප්‍රහාර එල්ල කර බිම හෙලීමට LTTE සංවිධානයට හැකියාවක් ලැබෙන්නේ නෑ. ප්‍රහාරක ගුවන්යානා හා හෙලිකොප්ටර් යානා 11ක් විනාශ කරමින් 2001 ජූලි මාසයේ 24 දා කටුනායක ගුවන් තොටුපළට එල්ල වූ LTTE ප්‍රහාරයෙන් නවතා තිබූ කෆීර්C7 යානාවන් දෙකක් විනාශ වු අතර තවත් කෆීර් යානාවන් පහක් දැඩි හානියකට ලක් වෙනවා. තවද 2011 වසරේදී පුහුණුවක් අතර තුරදී සිදු වු අනතුරකින් කෆීර් C2 යානා දෙකක් ගම්පහ ප්‍රදේශයට කඩා වැටෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 2000 වසරේ සිට භාවිතා කරන්නේ මිග් 27 යානාවයි.

මිග් 27යානය සඳහා මිග් 23 යානයේම බාහිර සැකැස්ම යොදා ගෙන තිබෙනවා. සතුරු ඉලක්ක හදුනා ගැනිමට හා විනාශ කිරිමට යොදා ගන්නා ප්‍රහාරක පද්ධතිය සදහා නවීනතම සංවේදන යොදා ඇති අතර නියමු කුටියේ අමතර ආරක්ෂක ආවරණයක් යොදා තිබෙනවා.

මිග් 27 යානා ඉතා පහළින් පියාසර කර සතුරු ඉලක්ක විනාශ කිරිමට බොහෝ විට යොදා ගන්නවා. LTTE ත්‍රස්ත ඉලක්ක විනාශ කිරීම සදහා සාමාන්‍යයෙන් මීටර් 4000ක් දක්වා යානය පහත් කරන අතර තවත් ඉලක්ක සදහා මීටර් 30ක් දක්වා යානය පහත් කරන්නට සිදු වූ බව ගුවන් නියමු ක්‍රිෂාන්ත කපුගම පවසා තිබෙනවා. තවද මෙහි ඇති විශාල හා සවිමත් රෝද පද්ධතිය නිසා ඕනෑම රළු ගුවන් පථයක වුවද ගොඩබැස්සවිමේ හැකියාවද පවතිනවා.

LTTE ප්‍රධාන මර්මස්ථානයක් වූ චාවකච්චේරියේ ඉලක්ක කිහිපයකට මුලින්ම ප්‍රහාර එල්ල කරමින් තම සංග්‍රාමය පටන් ගත් මිග් 27 යානා පාබල හමුදාවන්ට අවශය ගුවන් සහාය ලබා දෙමින් උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වන තුරු සාර්ථක ගුවන් ප්‍රහාර විශාල ගණනාවක් සිදු කර තිබෙනවා.

LTTE ප්‍රහාර වලින් කිසිදා මිග් 27 යානා බිම හෙළිය නොහැකි වූ අතර 2001 වසරේ කටුනායක ගුවන් හමුදා කදවුරට එල්ලවූ ප්‍රහාරයෙන් නවතා තිබූ මිග් 27 යානයක් විනාශයට පත්වෙන අතර තවත් යානයකට අලාභහානි සිදු වෙනවා. පසුගිය යුධ සමයේ වැඩිම ප්‍රහාර ප්‍රමාණයක් එල්ල කරමින් සතුරාට මරබිය ඇතිකළ ප්‍රධානම ප්‍රහාරක යානය ලෙස මිග් 27 හදුන්වා දිය හැකියි.

ඊශ්‍රායල් එයාර් ක්‍රාෆට් ඉන්ඩස්‌ට්‍රීස්‌ සමාගම මගින් නිපදවන කෆීර් යානා භාවිත කරන ලොව රටවල් හතරෙන් එකක්‌ වන්නේ ශ්‍රී ලංකාවයි.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------